ඉතිහාසගත වුණු සංචාරක පැමිණීම
වසරක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණයේ වාර්තාව අද (29) දින අලුත් වී තිබෙනවා.
ඒ මීට පෙර ඉතිහාසයේ වැඩිම සංචාරකයින් පැමිණි වසර වූ 2018 දී වාර්තා වී තිබූ සංචාරකයින් 2,333,796 ප්‍රමාණය අද දිනයේ දී අභිබවා යාමත් සමඟින්.
ඒ අනුව 2025 වර්ෂයේ 2,333,797 වන සංචාරකයා අද උදෑසන මෙලෙස පිළිගත් බව ශ්‍රී ලංකා සංචාරක ආයතනය පවසනවා.
ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් UL 162 ගුවන් යානයෙන් ඉන්දියාවේ තිරුවනන්තපුරම් හි සිට පැමිණි, පවුලක් වන – ෆීලික්ස් ඛෙස්ලින් පෙරේරා මහතා, රීනා ෆර්නෑන්ඩූස් මහත්මිය සහ ඈන් ක්‍රිස්ටිනා පෙරේරා මෙනවිය මෙලෙස 2025 වර්ෂයේ සංකේතාත්මක 2,333,797 වන අමුත්තන් ලෙස පිළිගැනීමට කටයුතු කර තිබෙනවා.
ශ්‍රී ලංකා සංචාරක ආයතනය පෙන්වා දෙන්නේ ඔවුන්ගේ පැමිණීම පුද්ගලික සැමරුමක් පමණක් නොව, ජාතියේ සාමූහික ජයග්‍රහණයක් ද නියෝජනය කරන බවයි.


