උදෑසන අවදි වී දත් මැදීම අප කාටත් ඉතා සරල, දෛනික කාර්යයකි. නමුත් මාතර පදිංචි 63 හැවිරිදි විශ්‍රාමික රාජ්‍ය සේවකයෙකු වන යූ. එච්. ප්‍රේමලාල් මහතාට පසුගියදා මුහුණ දීමට සිදු වූයේ කිසිවෙකුත් නොසිතන අන්දමේ භීතජනක අත්දැකීමකටයි.
පසුගිය ජනවාරි 23 වන දින උදෑසන ප්‍රේමලාල් මහතා දත් මදිමින් සිටියදී නාන කාමරය තුළ ලිස්සා වැටී ඇත. එම අවස්ථාවේ කටේ තිබූ දත් බුරුසුවේ මිට කොටස කැඩී ගොස්, එහි කෙඳි සහිත හිස කොටස සම්පූර්ණයෙන්ම උගුර තුළට විසි වී සිර විය.
“මම බුරුසුව අදින්න හැදුවත් ආවේ මිට විතරයි. හිස කොටස ඇතුළේ හිර වුණා. මට ඒ වෙලාවේම තේරුණා ලොකු අනතුරක් වුණා කියලා” ඔහු පවසයි.
මුලින්ම පෞද්ගලික රෝහලකටත් පසුව මාතර මහ රෝහලටත් ඇතුළත් වූ නමුත් මුල් පරීක්ෂණවලදී (X-ray) ප්ලාස්ටික් කොටස හඳුනා ගැනීමට අපහසු විය. එබැවින් වෛද්‍යවරුන් ඔහුට නිවසට යාමට අවසර දුන්නද පසුව උගුරෙන් ලේ සහ සෙම වැගිරෙමින් තත්ත්වය අසාධ්‍ය වන්නට විය.පසුව පෞද්ගලික වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත ලබාගත් පැහැදිලි X-ray වාර්තාවකින් තහවුරු වූයේ දත් බුරුසු හිස උගුරේ ප්‍රධාන රුධිර නාලයක් (Common Carotid) අසල සිරවී ඇති බවයි.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් මෙම සංකීර්ණ ශල්‍යකර්මය සිදු කෙරිණි. බුරුසු හිස ආහාර මාර්ගයෙන් පිටතට ගොස් ගෙළේ ප්‍රධාන ලේ නහරයක් අසල නතර වී තිබීම. පැය කිහිපයක දැඩි උත්සාහයකින් පසු රාත්‍රී 11:45 ට පමණ සාර්ථකව එම කොටස ඉවත් කිරීමට වෛද්‍ය කණ්ඩායම සමත් විය.වෛද්‍යවරුන් පවසන පරිදි මෙවැනි සිදුවීමක් මෙරටින් පමණක් නොව ලෝකයෙන්ම වාර්තා වී ඇත්තේ ඉතා කලාතුරකිනි.
දැන් පූර්ණ සුවය ලබා සිටින ප්‍රේමලාල් මහතා පවසන්නේ කාර්යබහුලත්වය නිසා මෙවැනි දෛනික සරල දේවල් නොසැලකිල්ලෙන් කිරීමෙන් ජීවිතය පවා අහිමි විය හැකි බවයි.
“උදේට හැමෝම කලබලයි. හැමෝම වැඩට යන්න ලෑස්ති වෙනවා. ඒත් මේ වගේ පුංචි අත්වැරදීමකින් ලොකු විනාශයක් වෙන්න පුළුවන් කියලා මතක තියාගන්න.”


