භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් විපක්ෂයේ සිටියදී දැවැන්ත හඬක් නැගූ ජාතික ජන බලවේගය (NPP) රජයේ පළමු සම්පූර්ණ පාලන වර්ෂය වූ 2025 වසරේදී මෙරට මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් විවිධ අභියෝගාත්මක තත්ත්වයන් මතු වූ බව නිරීක්ෂණය වේ.විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ අසීමිත බලයක් සහිතව පාලනය මෙහෙයවන පසුබිමක මාධ්‍යවේදීන් ඉලක්ක කර ගනිමින් සිදුවූ ප්‍රශ්න කිරීම් සහ තොරතුරු දැනගැනීමේ අයිතිය සීමා කිරීම් පිළිබඳව ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.
වසර පුරා මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) සහ වෙනත් ආයතනවලට කැඳවා ප්‍රශ්න කිරීම් කිහිපයක් වාර්තා විය. උතුරේ මහවිරු සමරු වාර්තාකරණය සහ පොලිස් වාර්තා සම්බන්ධ පුවත් හේතුවෙන් අරුණ පුවත්පතෙහි කර්තෘ මණ්ඩලය කිහිපවරක්ම CID වෙත කැඳවීම, අනුරාධපුර සිදුවීමකට අදාළ වාර්තා ලබාගත් ආකාරය ගැන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි ආනන්දගෙන් ප්‍රශ්න කිරීම, ඡායාරූප මාධ්‍යවේදී කනපතිපිල්ලෙයි කුමනන් ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත කැඳවීම සහ හිරු මාධ්‍ය ආයතනයේ වාර්තාකරණයක් සම්බන්ධයෙන් CID පරීක්ෂණ ආරම්භ කිරීම උදාහරණ ලෙස දැක්විය හැකියි.
තොරතුරු දැනගැනීමේ පනත සහ විවෘත පාලනය පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරෙන අවස්ථා කිහිපයක් ද 2025 දී සනිටුහන් විය.
කැබිනට් මාධ්‍ය හමුවේදී මාර්ගගතව සම්බන්ධ වන මාධ්‍යවේදීන්ට ප්‍රශ්න ඇසීමට ඇති අවස්ථාව සීමා කිරීම සහ නිල හැඳුනුම්පත් හිමියන්ට පමණක් එය සීමා කිරීම, ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරීන්ගේ විස්තර ඉල්ලා ඉදිරිපත් කළ තොරතුරු අයදුම්පත් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කිරීම, මැයි දින රැළියකදී ලබාගත් ඡායාරූපයක් සමාජ මාධ්‍යවලින් ඉවත් කරන ලෙස ජනාධිපති මාධ්‍ය අංශයෙන් මාධ්‍යවේදියෙකුට බලපෑම් කිරීම ආදිය ඒ යටතේ දැක්විය හැකියි.
අතීතයේ සිදුවූ මාධ්‍ය මර්දන සිදුවීම්වලට යුක්තිය ඉටුකිරීම සම්බන්ධයෙන් පැවති බලාපොරොත්තු බිඳවැටුණු අවස්ථා ද දැකගත හැකි විය.ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාලව සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව නඩු නොපවරන බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දීම,ප්‍රගීත් එක්නැලිගොඩ සිද්ධියේදී නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවී ඇති බව අධිකරණයේදී අනාවරණය වීම දැක්විය හැකියි.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ දත්තවලට අනුව 2025 වසරේදී මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව අභියෝගයට ලක්වූ නව සිදුවීම් 88 ,මාධ්‍ය නිදහස සීමා කිරීමට අදාළ මුළු සිදුවීම් 246 වාර්තා විය.
“ඍජු මර්දනයක් තවම වාර්තා නොවූවත්, පැරණි අපරාධ සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු කිරීමට රජය ගෙන ඇති පියවර ප්‍රමාණවත් නැහැ,” යැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු ලසන්ත ද සිල්වා මහතා පවසයි.
වසර අවසානයේදී රජය විසින් “ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක්” සහ මාධ්‍යවේදීන් සඳහා වරලත් ආයතනයක් පිහිටුවීමට යෝජනා කර ඇති අතර එය මාධ්‍ය නිදහස තවදුරටත් නියාමනය කිරීමක් ද යන්න පිළිබඳව ක්ෂේත්‍රය තුළ සැක සංකා මතු වී තිබේ.


