දත් මදිද්දී සිදු වූ “මරණාන්තික ඉක්කාව” ධමනියක් පුපුරා ගිය අමුතුම සිද්ධිය
ඉන්දියාවේ රායිපූර්හි පදිංචි 40 හැවිරිදි රාහුල් කුමාර් දෙසැම්බර් 1 වනදා උදෑසන දත් මදිමින් සිටියදී ඔහුට හදිසියේම ඉක්කාවක් ඇති විය. ඉන් මොහොතකට පසු ඔහුගේ උගුරේ දකුණු පසින් බැලූනයක් පිම්බෙන්නාක් මෙන් දැනී තදබල වේදනාවක් සමඟ දෑස් අඳුරු වී තිබේ.
රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වෛද්‍යවරුන් හෙළි කරගත්තේ ඔහුගේ මොළයට රුධිරය සපයන ප්‍රධාන ධමනියක් වන කැරොටයිඩ් ධමනිය (Carotid Artery) පුපුරා ගොස් ඇති බවයි.රාහුල්ට ප්‍රතිකාර කළ හෘද සහ රුධිර වාහිනී ශල්‍ය විශේෂඥ වෛද්‍ය ක්‍රිෂ්ණකාන්ත් සාහු පවසන පරිදි මෙය අතිශය විරල තත්ත්වයකි. සාමාන්‍යයෙන් මෙය සිදුවන්නේ දරුණු රිය අනතුරකදී හෝ පිළිකා වැනි රෝගී තත්ත්වයන් නිසාය. නමුත් කිසිදු රෝගයක් හෝ තුවාලයක් නැති නිරෝගී පුද්ගලයෙකුගේ මෙම ධමනිය ඉබේම පුපුරා යාම ලොව පුරා මීට පෙර වාර්තා වී ඇත්තේ අවස්ථා 10 කදී පමණි. ධමනිය පුපුරා ගොස් ඒ අවට ලේ පිරීම නිසා ගෙල ප්‍රදේශය බැලූනයක් මෙන් ඉදිමී තිබූ අතර මෙය වෛද්‍ය විද්‍යාවේදී හැඳින්වෙන්නේ ‘Pseudoaneurysm’ යන නමිනි.
වෛද්‍යවරුන්ට අනුව රාහුල් රෝහලට එන විටත් සිටියේ මරණාසන්න තත්ත්වයේය. බෙල්ලේ වැදගත් ස්නායු පද්ධතියක් මධ්‍යයේ පිහිටි මෙම ධමනිය අලුත්වැඩියා කිරීම අතිශය අවදානම් සහගත විය.ධමනිය තුළ තිබූ ලේ කැටිත්තක් හෝ මොළයට ගියේ නම් ඔහු අංශභාග තත්ත්වයට පත් වීමට හෝ මොළය මිය යාමට ඉඩ තිබිණි.කැඩුණු ධමනිය අලුත්වැඩියා කිරීම සඳහා වෛද්‍යවරුන් එළදෙනෙකුගේ හදවතේ පටලයක් (Bovine Pericardium Patch) භාවිතා කර ඇත.
ධමනි යනු ඉතා ඉහළ පීඩනයකින් රුධිරය ගලා යන නාලිකා වේ. ගෙලෙහි පිහිටි කැරොටයිඩ් ධමනියට හානි වූ විට මිනිත්තු කිහිපයක් ඇතුළත රෝගියා මිය යා හැකිය. රාහුල්ගේ සිදුවීම වාසනාව සහ වෛද්‍යවරුන්ගේ දක්ෂතාවය නිසා ජීවිතය බේරුණු “ආශ්චර්යමත්” අවස්ථාවක් ලෙස වෛද්‍යවරු හඳුන්වති.


