පියා නිවසට තැබූ ගින්නෙන් දියණියත් සමඟ පියාත් ජීවිතක්ෂයට

Piyathaaa

පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු විසින් පෙට්‍රල් දමා සිය නිවසටම ගිනි තැබීම නිසා එම පුද්ගලයා සහ ඔහුගේ බාල දියණිය මියගොස් තිබෙනවා.

ඉන් තවත් හතර දෙනෙකු බරපතල පිළිස්සුම් තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කළා.

මෙම ඛේදවාචකය සිදුව ඇත්තේ අද (06) අලුයම 2 ට පමණ ගලෙන්බිඳුණුවැව පොලිස් වසමේ, පඩිකාරමඩුව ප්‍රදේශයේ පිහිටි නිවසකයි.

ගිනි තැබීම සිදුකළ 43 හැවිරිදි පියා සහ ඔහුගේ 13 හැවිරිදි දියණිය ගින්නට හසුවීමෙන් එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

ගින්නෙන් බරපතල ලෙස පිළිස්සුම් තුවාල ලැබූ මියගිය පුද්ගලයාගේ 36 හැවිරිදි බිරිඳ, 15 හැවිරිදි අනෙක් දියණිය සහ 66 හැවිරිදි මිත්තණිය මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

පියා නිවසට ගිනි තබන අවස්ථාවේදී පිරිමි දරුවා නිවසේ සිට නොමැති අතර, ගින්න පිළිබඳ සැලවීමත් සමඟ ඔහු වහා එම ස්ථානයට පැමිණ ඇති බව පොලීසිය සඳහන් කළා.

එහිදී ගින්නට මැදිව සිටි සිය මව සහ සහෝදරියන් බේරාගැනීමට උත්සාහ කිරීමේදී 20 හැවිරිදි එම පුත්‍රයාද පිළිස්සුම් තුවාල ලබා තිබෙනවා.

පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ගිනි තැබීම සිදුකළ පුද්ගලයා නිතර මත්පැන් පානය කර බිරිඳ සමඟ ආරවුල් ඇති කරගන්නා අයෙකු බවයි.

මෙම පවුල් ආරවුල් සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදීම ගලෙන්බිඳුණුවැව පොලීසිය වෙත පැමිණිලි ඉදිරිපත් වී තිබූ අතර එහිදී දෙපාර්ශ්වයටම පොලීසිය විසින් අවවාද කර තිබූ බවද අනාවරණය වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *