පාර්ලිමේන්තුව අද රැස්වේ
2026 වර්ෂය සඳහා වන ප්‍රථම පාර්ලිමේන්තු රැස්වීම කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරු 9.30 ට ආරම්භ වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය දැනුම්දී තිබෙනවා.
ධීවර හා ජලජ සම්පත් පනතට අදාළ නියෝග මෙන්ම ධීවර විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ පනත යටතේ වන නියෝග පිළිබඳ විවාදය අද පැවැත්වෙනු ඇති.
පසුගිය දෙසැම්බර් 28 වැනි දින අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කළ මහජන ආරක්ෂක ආඥා පනතට අදාළ යෝජනා සම්මතයද අද විවාදයට ගැනීමට නියමිතයි.
පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය යුතු ක්‍රමවේදය පිළිබඳ සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා “පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්” පිහිටුවීමට අදාළ යෝජනාවද අද දින අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරෙනු ඇති.
මෙම සතියේ පාර්ලිමේන්තු කටයුතු එළඹෙන 09 වැනිදා දක්වා පවත්වාගෙන යාමට තීරණය කර ඇති අතර, එම දින කිහිපය තුළ තවත් වැදගත් අණපනත් රැසක් සභාවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා


