නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයට 2025/2026 වාරය සඳහා ගල්අඟුරු මිලදී ගැනීමේදී සිදුව ඇති බරපතළ අක්‍රමිකතා, ප්‍රසම්පාදන නීති උල්ලංඝනය කිරීම් සහ දැවැන්ත මූල්‍ය අලාභයන් පිළිබඳව ජාතික විගණන කාර්යාලය විසින් සකස් කළ විශේෂ විගණන වාර්තාව අද (07) පාර්ලිමේන්තුවට භාර දී තිබේ.
පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා විසින් එම වාර්තාව කතානායකවරයා වෙත නිල වශයෙන් ඉදිරිපත් කර ඇති අතර, එය මන්ත්‍රීවරුන් වෙත බෙදා හැරීම සඳහා මුද්‍රණයට යොමු කර ඇත.
මෙම විගණනය සිදුකර ඇත්තේ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) විසින් කළ නියෝගයකට අනුව වන අතර, ලක්විජය බලාගාරයට ගෙන්වන ලද ගල්අඟුරු වල ප්‍රමිතිය, ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ ඒ හරහා රටට සිදුව ඇති මූල්‍ය හානිය පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇත.
නීති උල්ලංඝනය කර ටෙන්ඩර් පිරිනැමීම
විගණන වාර්තාව අනුව, ලියාපදිංචිය සම්පූර්ණ නොකළ සැපයුම්කරුවන්ට ද ලංසු ඉදිරිපත් කිරීමට ඉඩ ලබාදී ඇති අතර, එම නීති උල්ලංඝනය කරමින් ටෙන්ඩරය පිරිනැමීම සිදු කර ඇත. ‘Trident’ සමාගම ද ලියාපදිංචිය තහවුරු නොකළ සමාගමක් බවට හෙළිවී ඇත.
එමෙන්ම, ක්ෂණික ප්‍රසම්පාදන යටතේ තෝරාගත් ‘Taranjot Resource (Pvt) Ltd’ සමාගමද අවශ්‍ය ප්‍රමිතියට ගල්අඟුරු සැපයීමට පෙර අසමත් වූ සමාගමක් බවද වාර්තාවෙන් අනාවරණය කර ඇත.
ව්‍යාජ පරීක්ෂණ වාර්තා සහ බලපත්‍ර ගැටලු
ගල්අඟුරු ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා භාවිතා කළ ආයතන සම්බන්ධයෙන්ද බරපතළ ගැටලු හෙළි වී ඇත. ප්‍රතීතනතාවයක් නොමැති සමාගම් මගින් පරීක්ෂණ වාර්තා නිකුත් කර ඇති අතර, අදාළ බලපත්රයද අවලංගු වී තිබූ බව විගණනයෙන් තහවුරු කර තිබේ.
එවැනි වාර්තා මත පදනම්ව ගල්අඟුරු තොග 12ක් භාරගෙන ඇති අතර, ඒවායේ දත්ත සහ බලාගාරයේ සැබෑ ක්‍රියාකාරී දත්ත අතර බරපතළ පරස්පරතා පවතින බවද හෙළිවී ඇත.
බාල ගල්අඟුරු – බිලියන ගණනක පාඩුවක්
ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතය හේතුවෙන් බලාගාරයේ කාර්යක්ෂමතාව අඩුවී, විදුලි නිෂ්පාදනය සඳහා අධික ගල්අඟුරු ප්‍රමාණයක් වැය වී ඇත.
විගණනයට අනුව, මේ හේතුවෙන් රජයට සිදුව ඇති මුළු පාඩුව රුපියල් මිලියන 2,237.7ක් (බිලියන 2.2ක් පමණ) ලෙස ගණනය කර ඇත.
එමෙන්ම, සැපයුම්කරුගෙන් අයකර ගත හැකි දඩ මුදල රුපියල් මිලියන 2,332.5ක් දක්වා ඉහළ යා හැකි බවද වාර්තාව පෙන්වා දෙයි.
විදුලි සැපයුමට අවදානමක්
ගල්අඟුරු නැව් ගෙන්වීමේ කාලසීමාව තුළ නිසි සැලසුම් නොකිරීම හේතුවෙන් දින 40ක කාලයක් තුළ කිසිදු නැව් තොගයක් ගෙන්වා ගැනීමට නොහැකි වී ඇති බවද විගණකාධිපතිවරයා පෙන්වා දෙයි.
මෙම තත්ත්වය ඉදිරියේදී ලක්විජය බලාගාරයේ ක්‍රියාකාරීත්වයට සහ රටේ අඛණ්ඩ විදුලි සැපයුමට බරපතළ අවදානමක් ඇති කළ හැකි බවටද අනතුරු ඇඟවීමක් කර ඇත.
දැඩි නීතිමය ක්‍රියාමාර්ග අපේක්ෂා
මෙම විශේෂ විගණන වාර්තාව මගින් හෙළිවන කරුණු අනුව, 2025/2026 ගල්අඟුරු ප්‍රසම්පාදනය යනු විධිමත් ක්‍රියාවලියෙන් බැහැරව සිදු වූ, රජයට විශාල මූල්‍ය හානියක් සිදු කළ බරපතළ අක්රමික ක්‍රියාවලියක් බව පැහැදිලි වේ.
මෙම වාර්තාව ඉදිරියේදී COPE කමිටුව හමුවේ දැඩි විවාදයට ලක්වීමට නියමිත අතර, වගකිව යුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇතැයි මහජනතාව අපේක්ෂා කරයි.
-AJ-


