ආචාර්ය නන්දා මාලිනී යනු හුදෙක් ගායිකාවක පමණක් නොව, දශක ගණනාවක් පුරා මේ රටේ පීඩිත, අසරණ සහ සාධාරණත්වය අගයන ජනතාවගේ හඬ බවට පත්වෙමින්, ඇයගේ “පවන” වැනි නිර්මාණ හරහා වැඩවසම් හා ප්රභූවාදී පීඩනයන්ට එරෙහිව නිරන්තරයෙන් අභියෝග කළ යුග මෙහෙවරක සංකේතයකි. රාජ්‍ය ගෞරව සහ සියලු ආටෝපකාරී උත්සව ප්‍රතික්ෂේප කරමින්, සාමාන්‍ය පුරවැසියෙකු ලෙස ඉතා සරලව තමාගේ අවසන් කටයුතු සිදුකරන ලෙස ඇය කළ ඉල්ලීම මේ රටේ අසමානත්වයට එරෙහිව දුන් බලවත් පණිවිඩයක් වූ අතර, රාජ්‍ය නායකයන් ලෙස ජනාධිපතිවරයා හෝ අගමැතිනිය ආරක්ෂක හා රාජ්‍ය තාන්ත්‍රික පටිපාටීන් මත පැමිණීම තේරුම් ගත හැකි වුවත්, සාමාන්‍ය ජනතාව පැය ගණනක් මහ මාර්ගයේ පෝලිම්වල ලැගුම් ගෙන සිටිද්දී අනෙකුත් මැතිඇමතිවරුන්, දේශපාලඥයන්, ව්‍යාපාරිකයන් සහ සමාජ බලපෑම් ඇති පුද්ගලයන් එම පෝලිම් පැන ඇයට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව ලබා ගැනීම ඇයගේ ජීවිත ප්‍රතිපත්තිවලට කළ සෘජු අගෞරවයකි. මරණය හමුවේ හෝ සියල්ලන් එක හා සමානයි යන සරල සත්‍යය වටහා ගැනීමට අපොහොසත් වූ මේ උද්දච්ච ප්රභූවාදී මානසිකත්වය හමුවේ ඇයගේ මතවාදී අභිලාෂයන් ආරක්ෂා කිරීමට සංවිධායකයන්ද අපොහොසත් වී ඇති අතර, ඇයගේ දේහය අසලදී පවා සිදු වූ මේ සිදුවීම මතක් කර දෙන්නේ ඇය තම ගීතයෙන් ගොඩනැගීමට උත්සාහ කළ පීඩිතයන්ගෙන් තොර, සමානාත්මතාවයෙන් පිරි දේශය නිර්මාණය කිරීමේ අභියෝගය තවමත් අප හමුවේ ඉතිරිව ඇති බවයි.


