2026 සැප්තැම්බර් 15 වනදා සිට ක්රියාත්මක වන නව රෙගුලාසි යටතේ, ශ්රී ලාංකික ගමන් බලපත්ර හිමියන්ට තායිලන්තය වෙත වීසා රහිතව පිවිසීමේ සහනය තවදුරටත් නොලැබෙන බව තායි රජය නිවේදනය කර තිබේ.අගෝස්තු 31 වනදා එරට රාජ්ය ගැසට් පත්රයේ ප්රකාශයට පත් කළ නව නීතිරීති අනුව, මීට පෙර පැවති දින 60ක වීසා රහිතව රැඳී සිටීමේ සහනය අහෝසි කර ඇති අතර, කෙටි කාලීන සංචාර සඳහා වීසා නොමැතිව ඇතුළු විය හැකි රටවල නාමලේඛනයද සංශෝධනය කර තිබේ.මෙම තීරණය ගෙන ඇත්තේ ජාතික ආරක්ෂාව, සංචාරක හා ආර්ථික අභිලාෂයන්, ද්විපාර්ශ්වික ප්රතිලාභ, අතිරේක වීසා සහන අවම කිරීම සහ e-Visa පද්ධතියේ භාවිතය සලකා බැලීමෙන් පසුය.ඒ අනුව, සැප්තැම්බර් 15 පසු තායිලන්තය බලා පිටත්ව යන ශ්රී ලාංකිකයන්ට ගමනට පෙර සුදුසු වීසාවක් ලබාගැනීම අනිවාර්ය වන අතර, එය මාර්ගගත e-Visa පද්ධතිය හරහා අයදුම් කළ හැක. කොළඹ පිහිටි රාජකීය තායි තානාපති කාර්යාලයද සැප්තැම්බර් 4 වනදා නිකුත් කළ නිවේදනයක් මගින් මෙම නව පියවර පිළිබඳව දැනුවත් කර තිබේ.කෙසේ වෙතත්, සැප්තැම්බර් 15ට පෙර තායිලන්තයට ඇතුළු වන ශ්රී ලාංකික සංචාරකයින්ට, ආගමන බලධාරීන් විසින් අවසර ලබා දී ඇති කාලසීමාව අවසන් වන තෙක් රැඳී සිටීමට අවස්ථාව හිමිවනු ඇත.


