කිරි ගවයින් ජාවාරම් කිරීමේ සිදුවීමකට අදාළව අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් වී, අධිකරණය මග හරිමින් සිටින වැලිකන්ද පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයාගේ දේපළ තහනම් කිරීමට පොළොන්නරුව මහේස්ත්රාත් අධිකරණය නියෝග කර ඇත.
එම පොලිස් ස්ථානාධිපතිතුමා අසනීප නිවාඩු වාර්තා කර ප්රදේශයෙන් බැහැරව ගොස් ඇති බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් කළ දැනුම් දීමට අනුව අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇත.
බලපත්ර නොමැතිව ප්රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගන්නා ලද කිරි ගවයන් 20 දෙනෙකු 2024 සැප්තැම්බර් මස 23 වනදා වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පොළොන්නරුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර, එම කිරි ගවයින් 20 දෙනා රජයට අයත් සත්ත්ව ගොවිපලකට භාරදෙන ලෙස මහේස්ත්රාත්වරයා නියෝග කර ඇති නමුත්, අදාළ කිරි ගවයින් යළි ජාවාරම්කරුවන්ටම භාරදීමට එවක වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කර ඇති බවට අධිකරණයට නිර්නාමිකව ලිපියක් ලැබී ඇත.
එහිදී සැකකාර පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගන්නා ලෙස පොළොන්නරුව මහේස්ත්රාත් අධිකරණය ඉකුත් 11 වනදා නියෝග කළ නමුත්, ඔහු අසනීප නිවාඩු වාර්තා කර ප්රදේශයෙන් බැහැර ගොස් ඇති අතර වරෙන්තුකරුට අයත් සියලු නිශ්චල සහ චංචල දේපළ තහනම් කර අධිකරණයට භාර ගැනීමට නියෝග කර ඇත.
එමෙන්ම ඔහු ශ්රී ලංකාව තුළ සහ ඉන් පිටත පවත්වාගෙන යන සියලු ගිණුම්වල පවතින තැන්පතු මුදල් තහනම් කර අධිකරණයට යොමු කරන ලෙසට ශ්රී ලංකා මහ බැංකු අධිපතිවරයාට නියෝග කර ඇති බවද වැඩිදුර සඳහන් වේ.


