කෘෂිකර්ම, පශු සම්පත් සහ වාරිමාර්ග ක්ෂේත්‍රයට සිදුව ඇති හානිය සහ ඒ හමුවේ ගත යුතු කඩිනම් පියවර පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සහ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන්, වී, බඩඉරිඟු, ධාන්‍ය සහ එළවළු වගාවන්ට සිදුව ඇති හානිය සම්බන්ධව පවතින සංඛ්‍යා දත්ත සහ අදාළ ගොවීන්ට වන්දි ලබාදීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇති බවයි සඳහන් වෙන්නේ.
පශු සම්පත් සහ වාරිමාර්ග ක්ෂේත්‍රයට සිදුව ඇති බලපෑම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර, වාරිමාර්ග පද්ධතියට සිදුව තිබෙන හානිය ගණනය කොට එය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඊට අදාළ සැලසුම් සකස් කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.


