අයවැය සම්මත කරගන්න පෙර පාර්ලිමේන්තුවට ආ ජනපතිගෙන් සංවේදී ප්‍රකාශයක්

template 13

ආපදාවෙන් අහිමි වූ ජීවිත නැවත ලබාදිය නොහැකි නමුත් ආණ්ඩුවක් ලෙස ජීවත්ව සිටින පිරිසට වඩාත් සුදුසු ගුණාංගවලින් සමන්විත රටක් හිමිකර දීම තම අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ආණ්ඩුව ඒ වෙනුවෙන් උපරිමයෙන් කැපවී ඇති අතර, එවැනි ඉරණමක් නැවත ඇති නොවීමට වගබලා ගනිමින් සිටින බව ද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.

ආපදා හේතුවෙන් මේ වනවිට සිය ඥාතීන් සමීපතමයින් අහිමිවී ගොස් වේදනාවෙන් සිටින පිරිසට රටක් ලෙස තම සංවේගය ප්‍රකාශ කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

“ඕනෑම ව්‍යසනයකදී මිනිස් ජීවිත උඳුරාගන්න පුළුවන්. නමුත් අපිට එකක් පසක් කර තිබෙනවා. ලංකාවේ ජනතාව තුළ තිබෙන මනුස්සත්වය කිසිදු ව්‍යසනයකදී උදුරා ගත නොහැකි ප්‍රබල ගුණාංගයක් බව මෙම ව්‍යවසනයේදීත් ඔප්පු කර තිබෙනවා. මේ මොහොතේදීත් මාතර අය බදුල්ලට ගිහින් ඉන්නවා. ගාල්ලේ අය මහනුවරට ගිහින්. කළුතර අය නුවරඑළියේ ගිහින්. හම්බන්තොට අය පුත්තලමට ගිහින් ඉන්නවා. කවදාවත් තමන් ඇවිද්දේ නැති පාරක් ඔවුන් සුද්ද කරමින් ඉන්නවා. තමන්ගේ ඥාතියෙක් නොවන තමන්ගේ මිතුරෙකු නොවන පුරවැසියෙකුගේ නිවස පිරිසිදු කරමින් ඉන්නවා. අවතැන් කඳවුරුවල ඉන්න පුරවැසියන් එක්ක තමන් හා සමානව උරින්උර ගැටී දුක බෙදාගනිමින් ඉන්නවා. ඒක තමා මම හිතන්නේ අපේ රට තුළ කුමන ව්‍යසනයකදී වුවත් උදුරාගන්න බැරි මනුස්සත්වය මේ ව්‍යවසනයේදී අපිට ඔප්පු කරමින් තියෙනවා.”

එමෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මේ මොහොතේදීත් මාතෘ භූමියට ඇති වූ ව්‍යසනය හමුවේ දිවා රෑ නොබලමින් වෙහෙසෙමින් සිටින බව ද අවධාරණය කළ ජනාධිපතිවරයා, ඔවුන් විශාල කම්පනයකින් යුතුව ඒ සඳහා මැදිහත්වීම ගැන ස්තූතිය පිරිනමන බවද පැවසීය.

ලේ බැංකුවට ඒකක 20, 000ක පරිත්‍යාගයක් ද අපේ රටේ ජනතාව ලබාදී ඇති බවත් එය කුමන ව්‍යසනයකදීවත් විනාශ කරන්න බැරි මනුස්සත්වය බව ද අවධාරණය කළේය.

දියුණුවේ බොහෝ රාජ්‍යයන්ගේ ප්‍රධානතම සාධකය වන්නේ ජනතාවගේ ධෛර්යවන්ත මැදිහත් වීම බව ද කියා සිටි ජනාධිපතිවරයා ඇතැම් දේශපාලනඥයින් එයටද විහිළු කරන තත්ත්වයකට පත් කළ බවත් පැවසීය.

“මේ ව්‍යසනය ඇති වූ විට අපේ ජනතාව මුදාගැනීමට විශාල වෙහෙසක ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විසින් දැරුවා. කලා ඔයේ බස් රථයේ 70කට ආසන්න ප්‍රමාණයක් කොයි මොහොතේ තමාගේ ජීවිතේ නැති වෙයිද කියන කම්පනයෙන් හිටියා. සමහර මන්ත්‍රීවරු පැයෙන් පැයට ෆේස්බුක් සටහන් ලිව්වා. ඒ වෙලාවේදීත් අපේ නාවික හමුදාව ඒ අය මුදාගැනීමේ වීරෝධාර ක්‍රියාවලියක නිරත වෙලා හිටියා. අසීරු වෙහෙසකර තත්ත්වයක් යටතේ එක් නාවික හමුදා කණ්ඩායමක් මෙම සැඩ පහර පරාජය කරන්න මැදිහත් වෙලා හිටියා. ප්‍රතිඵලයක් ලෙස ඒ පිරිස වහලයක් උඩට ගත්තා. කෙටි වෙලාවකින් බසය ගසාගෙන ගියා. බෝට්ටුවේ ක්‍රියාවිරහිත වුණා. ඒ නිලධාරීන්ටත් තම ජීවිතය ආරක්ෂා කරගන්න වහල මත ඉන්න වුණා. පැය 18කට අධික කාලයක් 70කට ආසන්න පිරිසක් මහා සැඩ පහරක් මත ඒ වහලය මත ඔවුන්ට ජීවත් වෙන්න ධෛර්ය දුන්නේ ඒ නාවික හමුදා නිලධාරීන් තුන්දෙනා. පාන්දර 3.30 ත්‍රිකුණාමලය ඉඳන් නොච්චියාගමට එද්දි නාවික හමුදා නිලධාරීන් එතකොටත් සමහරු ෆේස්බුක් සටහන් ලියනවා දැන් පැය 17යි කියලා. දුෂ්කර ව්‍යායාමයක්. මම ස්තූතිවන්ත වෙනවා ඒ ගමේ තරුණයින් දෙදෙනෙකු වෙනත් පාරක් පෙන්වා දුන්නා 70 දෙනාම නිරුපද්‍රිතව මුදාගත්තා. රෝහල්ගත කරාම එක් අයෙක් මියගියා.”

මාවිල්ආරු බැම්ම කඩාගෙන යන අවස්ථාවේ දී පවා හමුදාව, පොලීසිය සහ ජනතාව මුල් වෙලා දහස් දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට සමත් වූ බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරත් පැවසීය.

මෙම ව්‍යසනකාරී තත්ත්වය තුළ ජීවිත පුජාකරමින් ත්‍රිවිධ හමුදාව ඇතුළු රාජ්‍ය සේවය විශාල කැපකිරීමක් සිදුකළ බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

“කනගාටුවට කරුණ වන්නේ, එම ව්‍යසනය සිදුවන වේලාවේදීත් සීත කාමරවල සිටිය මහත්වරු ලස්සනට ඇඳගෙන සුවඳ විලවුන් ගහගෙන ගිහින් දිසාපතිගෙන් ප්‍රශ්න කරනවා. කොතැනද මේ තියෙන්නේ. ඒ නිසා රාජ්‍ය සේවකයා මේ ව්‍යසනයේදී සිදුකළ කාර්යභාරය පිළිබඳව අපි බෙහෙවින්ම ස්තූතිවන්ත විය යුතුයි.”

සෞඛ්‍ය සේවය ජනතාවගේ ජීවිත රැකගන්න විශාල කාර්යභාරයක් සිදුකළ බවද ජනාධිපතිවරයා මෙහිදි සඳහන් කළේය.

ව්‍යසන කළමනාකාරී පනත තුළින් මෙවැනි ආපදා තත්ත්වයකට මුහුණදීමට නොහැකි වීම හේතුවෙන් විපක්ෂයේ නායකවරුන්ගේ ඉල්ලීම මත මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීතිය පැනවීමට කටයුතු කළ බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

“සාමාන්‍ය නීතිය අපිට මෙවැනි ව්‍යසනයකට මුහුණදීම සඳහා මෙවැනි මොහොතකදී ප්‍රමාණවත් නෑ. සාමාන්‍ය නීතියට උඩින් තියෙන ශක්තිමත් නීතියක් අපට අවශ්‍යයි මෙවැනි මොහොතකදී. කිසිසේත්ම ව්‍යවස්ථාව හෝ පනත උල්ලංඝනය කරලා නෑ. අපි බැලුවේ මේ ව්‍යසනයට මුහුණදෙන්න වඩාත් යෝග්‍ය නීතිය කුමක්ද කියලා. අපි කල්පනා කළා වඩාත්ම යෝග්‍ය පනත මහජන ආරක්ෂක පනත කියලා. එයට විපක්ෂ නායකයින් සහාය ලැබුණා. ඒ ගැන බෙහෙවින්ම ස්තූතියි. එහෙත් මෙම මහජන ආරක්ෂක පනත කිසිසේත්ම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කිරීමට උපයෝගී කරගන්නේ නෑ. මාව හෝ අපේ අමාත්‍යවරු විවේචනය කිරීම අපි ගණන් ගන්නේවත් නෑ. අවලාද අදාළම නෑ. හැබැයි මෙම නීතිය උපයෝගී කරගන්නවා ජනතාව බියවද්දවන්න, ජනතාව නොමග යවන්න හෝ මෙම සාමකාමී තත්ත්වය අවුල් කිරීම සඳහා ව්‍යසනකාරි ප්‍රජාව ඇතුළේ යම් ගැටුම්කාරී ව්‍යාකූලත්වයක් නිර්මාණය කිරීමට කවුරු හෝ උත්සාහ කරනවා නම් එය අපි මේ ව්‍යසනයෙන් මිදීමට කරන සැලැස්මට බාධාවක්. ඒ පැත්තෙන් විතරයි අපි මේ නීතිය උපයෝගී කරගන්නේ. එහෙම නැතුව ජනතාවගේ ලියන, කියන අදහස් අපි සැලකිල්ලට භාජනය කරන්නේ නෑ.”

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙමින් ජනතාව නොමඟ අරින අයට විරුද්ධව මෙම නීතිය උපයෝගී කරගන්නා බවද කියා සිටි ජනාධිපතිවරයා, තමාට අවශ්‍ය වන්නේ ඉතාම සාමකාමී හා ප්‍රවේශම්සහගත මැදිහත් වීමක් තුළින් මෙම ව්‍යසනයෙන් ගොඩ ඒම බවද කියා සිටියේය.

සද්භාවයෙන් මෙම ව්‍යසනය තුළ තීරණ තීන්දු ගත් සෑම නිලධාරියෙක්ම ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වගකීම බවද අවධාරණය කර සිටි ජනාධිපතිවරයා, ලංකාවේ පළමු වතාවට ප්‍රාදේශීය ලේකම්වරයෙකුට ලක්ෂ 500 දක්වා වියදම් කිරීමේ බලයක් ලබාදුන් බවත් පැවසීය.

මෙවැනි ව්‍යසනයකදී සාම්ප්‍රදායික නීති රාමුවක කොටුවිය යුතු නැතියි පැවසු ජනාධිපතිවරයා මේ වනවිට කඩිනමින් නිවාස වෙත යා හැකි ජනතාවට එම ස්ථානයන් වෙත යෑමට ඉඩ සලසා දීමට කටයුතු කරමින් සිටින බවද කියා සිටියේය.

මේ වෙනවිට ආපදා හේතුවෙන් නිවාස 5,165ක් විනාශ වී ඇති අතර, අර්ධ හානි සිදුවු නිවාස 57,312ක් ඇතැයි ද පැවසු ජනාධිපතිවරයා, ලක්ෂ 17කට අධික පිරිසක් මෙම ආපදා තත්ත්වයට මුහුණ දී ඇතැයි ද කියා සිටියේය.

එය ආර්ථිකයට දරාගත නොහැකි තත්ත්වයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එය ඔරොත්තු නොවන තත්ත්වයක් බවද පැවසීය.

“අපේ රටේ ආර්ථිකය තියෙන්නේ හොඳම තැනක නෙමෙයි. අපේ රටේ ආර්ථිකයට භාහිරින් එන කුඩා කම්පනයකටත් ඔරොත්තු දෙන්න බෑ. අපි මේ ආර්ථිකය ඉතා සීරුවෙන් කළමනාකරණය කරමින් ඉදිරියට යන ගමනක්. හැබැයි සමහරු වියරු මනසක් තියෙන අය කුරිරු මනසිකින් ජීවත් වෙනවා අපේ ආර්ථිකය ගැන.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *