අම්බුළුවාවේ පවුල් පාලනයට එරෙහිව විරෝධයක්

අම්බුළුවාවේ පවුල් පාලනයට එරෙහිව විරෝධයක්

මහජන මුදලින් නිර්මාණය කරන ලද අම්බුළුවාව ජෛව විවිධත්ව මධ්‍යස්ථානය අවභාවිත කිරීම නතර කරන ලෙසත්, එහි පාලනය පරම්පරාවෙන් පරම්පරාවට නතු කරගෙන ඇති නෛතික ප්‍රතිපාදන වහාම සංශෝධනය කරන ලෙසත් බල කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් 04 වැනි දින ගම්පොළ දුම්රිය ස්ථානය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුණා.

ප්‍රදේශවාසීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම විරෝධතාවයේදී අම්බුළුවාව මධ්‍යස්ථානයේ වත්මන් කළමනාකාරීත්වයට එරෙහිව දැඩි විවේචන එල්ල වුණා.

අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති ධුරය පරම්පරාවෙන් පරම්පරාවට හිමිවන සේ සකස් කර ඇති නෛතික ව්‍යුහය ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත්, එය වහාම වෙනස් කර රජයේ විධිමත් පාලනයකට නතු කළ යුතු බවත් විරෝධතාකරුවෝ අවධාරණය කළා.

අම්බුළුවාව නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින බරපතල අවදානම ඉවත් කර, එම ස්ථානය ආරක්ෂිත සංචාරක කලාපයක් බවට පත් කරන ලෙසද ඔවුන් ඉල්ලා සිටි‍යා.

අම්බුළුවාව මධ්‍යස්ථානයේ වත්මන් කටයුතු සහ එහි ඇතැම් ඉදිකිරීම් හේතුවෙන් අවට පදිංචි ජනාවාසවලට එල්ල වී ඇති තර්ජන පිළිබඳව පෙන්වා දුන් ජනතාව, එම අවදානම ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කළ යුතු බව පවසනවා.

මහජන බදු මුදලින් ඉදිවූ අම්බුළුවාව පටු පෞද්ගලික අරමුණු වෙනුවෙන් පරිහරණය කිරීම සහ එහි ආදායම් අවභාවිත කිරීම වහාම නතර කරන ලෙසටද මෙහිදී විරෝධතාකරුවන් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *