පොලිස් නිලධාරීන්ට බිලියන දෙකක තෑගි දීලා

policee

පොලිස් නිලධාරීන්ට බිලියන දෙකක තෑගි දීලා
ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් දිරිගැන්වීම සඳහා 2025 වසරේදී පමණක් රුපියල් මිලියන 2200ක දැවැන්ත ත්‍යාග මුදලක් දිවයින පුරා විසිරී සිටින නිලධාරීන් අතර බෙදා දී ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.

එමෙන්ම පොලිස්පතිවරයා පවසන්නේ, මහජන සහාය නොමැතිව පොලිස් රාජකාරියක් සාර්ථකව ඉටු කළ නොහැකි බවයි.

ජනතාව පොලිසිය ලෙසද පොලිසිය ජනතාව ලෙසද අර්ථ දක්වන්නේ එම අන්‍යෝන්‍ය බැඳීම නිසා බවත් පොලිස්පතිවරයා අවධාරණය කළා.

පොලිසිය වෙත පැමිණෙන ජනතාවට සහනය සහ නීතියේ රැකවරණය ලබාදීම ප්‍රමුඛ කාර්යයක් බව පෙන්වා දුන් පොලිස්පතිවරයා, මහජනතාවට ගරුත්වයක් ඇතිව ආමන්ත්‍රණය කිරීමට නිලධාරීන් වගබලා ගත යුතු බව පැවසුවා.

පොලිස් නිලධාරියාගේ කාර්යභාරය ඇගයීමට ලක් කරන්නේ මහජනතාව බව සැමවිටම සිහි තබාගත යුතු බවද පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සිහිපත් කළා.

එමෙන්ම සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් හමුවේ පොලිසිය දැවැන්ත අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින බවත්, ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය මර්ධන මෙහෙයුම් ඉතා සාර්ථකව සිදුවන බවත් පොලිස්පතිවරයා පවසනවා.

ජාවාරම්කරුවන්ට සහය දෙන පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඔවුන්ට එරෙහිව තදින් නීතිය සහ විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

කෙසේවෙතත් පොලිස් දෙපාර්තමේන්තුව තුළ පවතින 31,000ක පමණ නිලධාරී පුරප්පාඩු පියවීම සඳහා රජය පියවර ගනිමින් සිටින බව පොලිස්පතිවරයා අනාවරණය කළා.

ඒ අනුව මෙම වසර තුළ නව නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමට කටයුතු ආරම්භ කර ඇති බවත් පවතින හිඟයට සහනයක් ලෙස සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 10,000ක් තාවකාලිකව පොලිස් රාජකාරි සඳහා අනුයුක්ත කිරීමට විෂයභාර අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් කටයුතු සූදානම් කරමින් පවතින බවත් ඔහු පැවසුවා.

කැපවීමෙන් සහ විශිෂ්ට ලෙස රාජකාරි කරන නිලධාරීන් වෙනුවෙන් ඉදිරියටත් ඇගයීම් සහ දිරිගැන්වීම් අඛණ්ඩව සිදුකරන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *