අනුරාධපුර සහ මිහින්තලය ප්‍රදේශවල ලැගුම්හල් කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය සංවිධානාත්මක මාර්ගගත වංචා (Online Scams) මෙහෙයුමක් වටලා එහි නිරතව සිටි චීන ජාතිකයන් 126 දෙනෙකු, මියන්මාර් ජාතිකයින් 04 හා තායිවාන් ජාතිකයන් 04 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට යුද හමුදා බුද්ධි අංශ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව සමත්ව තිබේ.
යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු රහසිගත තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ බුද්ධි නිලධාරීන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඒකාබද්ධව අදාළ ප්‍රදේශවල පිහිටි ලැගුම්හල් පහක් ඉලක්ක කරගනිමින් මෙම විශේෂ වැටලීම් සිදුකර ඇත. එහිදී අනුරාධපුර සහ මිහින්තලය ප්‍රදේශවල පිහිටි ප්‍රසිද්ධ ලැගුම්හල් කිහිපයක නවාතැන් ගෙන සිටි සැකකාර විදේශිකයන් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබූ ලැප්ටොප් පරිගණක, ජංගම දුරකථන සහ තවත් තාක්ෂණික උපකරණ රැසක් ද නිලධාරීන් භාරයට ගෙන තිබේ. සැකකාර විදේශිකයන් පිරිස සහ අත්අඩංගුවට ගත් භාණ්ඩ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සහ ඉදිරි නීතිමය කටයුතු ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ පොලිසිය මගින් සිදුකරනු ලබයි.
Ishan Kaluarachi (අනුරාධපුර වාර්තාකරු)


