ආරුගම්බේ යන්න එපා කියන සිද්ධියේ ඇත්තම කතාව මෙන්න

IMG 20241023 WA0069

විදේශිකයින් රැදී සිටින ස්ථාන කිහිපයක ආරක්ෂාව තර කිරීමට පියවර ගත්තේ පසුගිය 7 වැනිදා ලැබුණ බුද්ධි තොරතුරු ආරක්ෂක කවුන්සිලය රැස්වී විශ්ලේෂණය කිරීමෙන් පසුව ගත් තීරණයක් අනුව යැයි වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රකාශ කළා.

 

අද පස්වරුවේ පොළොන්නරුවේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී වැඩබලන පොලිස්පතිවරයා අවධාරණය ක‌ළේ, ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවයි.

අමෙරිකාව අද පෙරවරුවේ ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීම සම්බන්ධයෙන් නිකුත්කල ආරක්ෂක උපදේශය සම්බන්ධව මතුව ඇති තත්ත්වය පැහැදිලි කිරීම සදහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.

මේ තත්ත්වයට සමගාමීව ජාත්‍යන්තරව සිදුවූයේ කුමක්ද?

පසුගිය දෙවැනිදා ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා පර්සෝනා නන්ග්‍රාටා හෙවත් තම රට පිළි නොගන්නා පුද්ගලයෙකු බවට ප්‍රකාශයට පත්කළේ ය.

ඒ ඉරානය විසින් ඉශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරය හෙලා දකිමින් කල ප්‍රකාශයට විරෝධය පලකරමින් ය.

ඊට පසුදින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය මහලේකම්වරයාට සිය සම්පූර්ණ සහය පල කළේ ය.

එහි ප්‍රතිඵලයක් ලෙස ඊශ්‍රායලයේ තීරණයට එරෙහිව අප්‍රිකානු සමූහය ඇතුළත්ව රටවල් 104 ක් සහ සාමසාධක හමුදා මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහය දෙන රටවල් 34 ක් ලිපියකට අත්සන් තැබුවේ ය.

ශ්‍රී ලංකාව මෙම ලිපියට අත්සන් නොතැබූ බවට ජාත්‍යන්තරය තුළ පසුගිය දින කිහිපයේ විවේචනයක් එල්ල විය.

නමුත් පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, ඔක්තෝම්බර් 11 වැනිදා තමන් මෙම ලිපියේ පාර්ශ්වකරුවෙකුවීමට කැමැත්තක් දක්වන බවට එය සම්බන්ධීකරණය කළ නිව්යෝර්ක්හි චිලී රාජ්‍යයේ තානාපති කාර්යාලය හරහා දැනුම් දුන් බවයි.

ශ්‍රී ලංකාව දිගින් දිගටම පලස්තීනයට සහය පල කරන බවත් , එම ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවද විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කළේ ය.

එම නිවේදනයට අනුව ශ්‍රී ලංකාව එම ලිපිය හරහා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ආරක්ෂා කිරීම පමණක් නොව සම්පූර්ණ එක්සත් ජාතීන්ගේ වරම ආරක්ෂා කරන බවද අවධාරණය කර තිබුණි.

පසුගිය 11 වනදා ඊශ්‍රායලය විසින් දකුණු ලෙබනනයේ ගම්මානයකට එල්ලකල ගුවන් ප්‍රහාරයකින් ශ්‍රී ලංකාවේ සාමසාධක හමුදා සාමාජිකයින් දෙදෙනෙකු තුවාල ලැබුවේ ය.

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක බල ඇනිය පැවසුවේ, මෙම ප්‍රහාරය ඉතාමත්ම බැරෑරුම් කාරණාවක් බවත් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සාමාජික ආරක්ෂාව තහවුරු කිරීම සියල්ලන්ගේම වගකීමක්ද වන බවයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම ප්‍රහාරය සහ තම හමුදා සෙබලුන්ට තුවාල සිදුකිරීම තරයේ හෙලා දැක තිබූ අතර එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සාමාජිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත් කමත් අවධාරණය කර තිබුණි.

ඉන් දින 2කට පසුව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා මෙරට තානාපතිවරුන් හමුවූ අවස්ථාවේ පැවසුවේ ලෙබනනයේදී සාමසාධක කටයුතුවල නිරතවන හමුදා සාමාජිකයින් දෙදෙනෙකු ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින් තුවාලවීම කනගාටුවට කරුණක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *