බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ පළමුවරට අප්‍රිකානු සූකර උණ රෝගය වාර්තා වීම හේතුවෙන්, ඌරන් ප්‍රවාහනය සිදුකරන්නේ නම් ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය අනිවාර්ය කර ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.
පසුගිය කාලයේදී, ගම්පහ ප්‍රදේශ කිහිපයක ඌරන් හදිසියේ මියයාමේ සිදුවීම් වාර්තා වී තිබුණා. ඒ අනුව, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් විශේෂ පරීක්ෂාවක් සිදුකරනු ලැබුවා. පරීක්ෂණවලින් මෙම අප්‍රිකානු සූකර උණ රෝගී තත්ත්වය පැහැදිලිව අනාවරණය වී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ.
රෝගය සෙසු ප්‍රදේශවලට පැතිර යාම වැළැක්වීම සඳහා, ඌරන්ගේ මස් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතර ප්‍රවාහනය සිදුකරන්නේ නම් ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතියද අනිවාර්ය කර තිබෙනවා.
අදාළ බලධාරීන් වෙත, අප්‍රිකානු සූකර උණ රෝගී ලක්ෂණ කිසියම් ඌරන් ඇති කරන ගොවිපොලක පෙන්නුම් කරන්නේ නම්, එම ස්ථානවලට මුද්‍රා තැබීම සඳහා අධිකරණ නියෝග ලබාගන්නා ලෙස සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අදාළ බලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇති බවද සදහන් වෙනවා.


