මහනුවර දුම්රිය ස්ථානයේදී විදෙස් සංචාරකයන් සඳහා දුම්රිය ප්‍රවේශපත් නිකුත් කිරීමේදී අයථා ලෙස වැඩි මිලට ප්‍රවේශපත් අලෙවි කිරීමේ ජාවාරමක් සිදුකෙරෙන බව මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා පැවසා ඇත.
දුම්රිය ප්‍රවේශපත් වැඩි මිලට හොර පාරෙන් විකිණීමේ ජාවාරමට අදාළ පුද්ගලයන් පිළිබඳව තමන් වෙත තොරතුරු ලැබී ඇති බවද පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, කඩිනමින් පොලිසිය මැදිහත්ව මෙම ක්‍රියාවලිය නැවත්වීමට පරීක්ෂණ කටයුතු සිදුකරන ලෙස දැනුම් දී ඇති බවද වාර්තා වේ.
මෙම දුම්රිය ප්‍රවේශපත් ජාවාරම වැඩිපුරම සිදුවන්නේ, විදේශ සංචාරකයන් වැඩිපුර සංචාරය කරනු ලබන ඇල්ල, බණ්ඩාරවෙල සහ නානුඔය යන ප්‍රදේශවලට අයත් ඒවා බව සනාථ වී ඇති බව ද මෙහිදී අනාවරණය විය.
මෙම ජාවාරම පිළිබඳව තදින් සොයාබලන බවත් , මෙම අයථා ජාවාරම සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකිරීමට සූදානම් බවත් මේ පිලිබදව තොරතුරු දන්නා අය ඇත්නම් කඩිනමින් දන්වන ලෙසත් ප්‍රවාහන කටයුතු නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මෙහිදී අදහස් දැක්වමින් ප්‍රකාශ කර ඇත.


