නෞකාව ගිනි ගැනීම සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 04 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී ‘නයිට්‍රික් අම්ලය’ කාන්දු වීමෙන්, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක්වී ඇති බව, විමර්ශනවලදී හෙළිව ඇති බව, නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලට දැනුම් දී ඇත.
අගවිනිසුරු මූර්දු ප්‍රනාන්දු මහතා, යසන්ත කෝදාගොඩ මහතා, ශිරාන් ගුණරත්න මහතා, අචල වෙන්ගප්පුලි මහතා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම් විභාගයට ගෙන ඇත.
එමෙන්ම අතිරේක සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ මහතා විසින්, විමර්ශන වල හෙලිවූ පරිදි කන්ටේනර් දෙකකින් ‘නයිට්‍රික් අම්ලය’ කාන්දු වන බව දැනගෙන දින 09 ක කාලයක් ගතවී තිබුණත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගත් එහි කාර්ය මණ්ඩලය සහ නෞකාව පාලනය කළ සමාගම මෙම නෞකාව ගිනිගැනීමට සම්පූර්ණයෙන්ම වගකිවයුතු බව අධිකරණයට දැනුම් දී ඇත.
ඒ අනුව එම ව්‍යසනයට මෙරට රජය කිසිදු ආකාරයක වගකීමක් දැරීමේ අවශ්‍යතාවයක් නැති බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විනිසුරු මඩුල්ල ඉදිරියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.


