කොටහේන BCC මිනිසුන්ගේ දයිනිය ජීවීතය අඩාලවෙයි ,
කොළඹ, (Rapid News) – කොටහේන, සංගරාජ මාවතේ පිහිටි BCC නිවාස සංකීර්ණය අවට මත්ලෝලීන් විසින් සිදුකරනු ලබන අධික ශබ්දයෙන් යුත් EDM සංගීත වාදනය හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි පීඩාවකට පත්ව සිටින බව වාර්තා වේ. මෙම තත්ත්වය හුදෙක් ශබ්ද දූෂණයක් පමණක් නොව, ප්‍රදේශයේ ආරක්ෂාවට සහ දූ දරුවන්ගේ අධ්‍යාපනයට ද දැඩි තර්ජනයක් වී ඇති බවට ජනතාව මැසිවිලි නගති.
ප්‍රදේශවාසීන් පවසන පරිදි, මෙම සංගීතය දිවා රාත්‍රී නොබලා ක්‍රියාත්මක වන අතර, මේ හේතුවෙන් නිවෙස්වල වෙසෙන කුඩා දරුවන්ට සිය අධ්‍යාපන කටයුතු කරගෙන යාමට නොහැකි වී තිබේ. රැකියා නිමවී නිවසට පැමිණෙන වැඩිහිටියන්ට සහ රෝගී පුද්ගලයන්ට ද සුවදායක නින්දක් ලැබීමට නොහැකි තරමට මෙම තත්ත්වය දරුණු වී ඇත.
මෙහි ඇති බරපතලම තත්ත්වය වන්නේ, මෙම අධික ශබ්දයෙන් යුත් සංගීතයට මුවාවී ඇතැම් පුද්ගලයන් මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට එල්ල වන චෝදනාවයි. මේ පිළිබඳව පැමිණිලි කිරීමට උත්සාහ කරන ප්‍රදේශවාසීන්ට මත්ලෝලීන්ගෙන් විවිධ තර්ජන එල්ල වන අතර, ඒ හේතුවෙන් ජනතාව දැඩි බියකින් පසුවන බව අප වාර්තාකරු පවසයි.
ප්‍රදේශවාසීන් කිහිප වතාවක්ම 119 හදිසි ඇමතුම් ඒකකය හරහා මේ පිළිබඳව දැනුම් දී ඇති අතර, පොලිස් නිලධාරීන් පැමිණෙන අවස්ථාවලදී සංගීතය තාවකාලිකව නතර කිරීමට ඔවුන් පියවර ගනී. එහෙත් පොලිස් නිලධාරීන් එම ස්ථානයෙන් පිටත්ව ගිය සැණින් නැවතත් අධික ශබ්දයෙන් සංගීතය පටන් ගන්නා බවට ජනතාව චෝදනා කරති.
බලධාරීන්ගේ අවධානයට
පවතින නීතිමය තත්ත්වය අනුව රාත්‍රී 10:00 න් පසුව මහජන පීඩාවක් වන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය තහනම් වුවද, මෙම පිරිස එම නීති රීති නොතකා කටයුතු කරන බව පෙනෙන්නට තිබේ.
මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වී නිසි විමර්ශනයක් පවත්වා ජනතාවට සාමකාමීව ජීවත් වීමට අවශ්‍ය පරිසරය සකසා දෙන ලෙස ආම්‍ර් වීදීයේ පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් (OIC) ප්‍රදේශවාසීහු දැඩිව ඉල්ලා සිටිති. මෙම අනීතික ක්‍රියාවන් මැඩපැවැත්වීමට කොටහේන පොලිසියේ කඩිනම් අවධානය යොමුවනු ඇතැයි ‘Rapid News’ අප විශ්වාස කරමු.


