2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා පාසල් අද (05) ආරම්භ වනවා.
ඒ අනුව රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් අද සිට අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා.
2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරය පසුගිය දෙසැම්බර් මස 9වනදා නිකුත් කරනු ලැබූ චක්‍රලේඛය පරිදි ක්‍රියාත්මක වන බව ද වාර්තා වනවා.
සිංහල හා දෙමළ පාසල් සදහා 2025 අධ්‍යයන වර්ෂය පසුගිය දෙසැම්බර් මස 22වනදා සහ මුස්ලිම් පාසල් සඳහා දෙසැම්බර් මස 26වනදා අවසන් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබුණා.
කෙසේවෙතත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු ශ්‍රේණිය සඳහා ජනවාරි 29වනදාත් 6 වන ශ්‍රේණිය සඳහා ජනවාරි 21වනදාත් නව විෂය මාලාව ආරම්භ වන බව ද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කර සිටිනවා.
එසේ ප්‍රකාශ කර තිබුණ ද ශිෂ්‍යත්ව ප්‍රථීපල මත 6 ශ්‍රේණිය සඳහා වෙනත් පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේ පරිපාලන කටයුතු අද දිනයේ සිට ඉදිරි සතියක කාලය තුළ සිදුකර ගත හැකි බව ද වාර්තා වනවා.
මේ අතර දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වු පිරිස් රදවා සිටින පාසල් කිහිපයක් අද දිනයේ ආරම්භ නොකරන බව ද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කර සිටියා.
2026 පළමු පාසල් වාරයේ පළමු අදියර අද සිට එළඹෙන 9වනදා දක්වා පැවැත්වෙන අතර දිට්වා සුළි කුණාටුව හේතුවෙන් තාවකාලිකව අත්හිටුවනු ලැබු උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් ජනවාරි 12වනදා සිට පැවැත්වීමට සැලසුම් කර ඇත.


