ලිංගික අනන්‍යතාව වෙනස් කිරීමට එරෙහි පෙත්සම: හිටපු ජනපතිවරුන් දෙදෙනෙකුට සහ වත්මන් ජනපතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

WhatsApp Image 2026 02 12 at 11.43.47 AM

ජීව විද්‍යාත්මක පදනමෙන් බැහැරව පුද්ගල අභිලාෂය පරිදි ලිංගික අනන්‍යතාව වෙනස් කිරීමට රජය ලබා දී ඇති අවසරය නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව හිටපු සහ වත්මන් ජනාධිපතිවරුන් ඇතුළු පාර්ශව කිහිපයකට නොතීසි යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම්කරු අධිකරණය හමුවේ පෙන්වා දෙන්නේ 2016 වසරේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ චක්‍රලේඛයක් මත පදනම්ව මනෝ වෛද්‍ය නිර්දේශයක් සහිතව ලිංගික අනන්‍යතාව ශල්‍යකර්ම මගින් වෙනස් කර ගැනීමට අවස්ථාව සලසා දීම නීතියට පටහැනි බවයි.

ඔහු සිය පෙත්සම මගින් වැඩිදුරටත් චෝදනා කරන්නේ ලිංගික අනන්‍යතාව වෙනස් කළ පුද්ගලයන්ට අලුතින් උප්පැන්න සහතික සහ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම නීති විරෝධී බව,මෙම ක්‍රියාවලිය හරහා ශ්‍රී ලංකාවේ නීතියට පටහැනි “සමලිංගික විවාහ” සඳහා අවස්ථාව නිර්මාණය වන බව හා පසුගිය රජයන් මෙන්ම වත්මන් රජය ද මෙම නීතිවිරෝධී වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම හරහා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවයි.

පෙත්සමේ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ වත්මන් ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා ඇතුළු පාර්ශවයන්ට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශවයට නියම කළේය.

මීට අමතරව කාන්තා කටයුතු අමාත්‍යවරිය සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ද මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත. මෙම පෙත්සම සලකා බැලීම සඳහා ලබන ජූලි මස 20 වන දා යළි කැඳවීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *